Saturday 3 September 2016

වීසා අලකලන්චි

දම්සො පුතාට තරම් වීසා අලකලන්චි වෙච්ච එකෙක් මේ සක්වලේම ඉන්නවද සැකයි. ඒ විස්තර ලියන්න හිතුනේ තිලක සිතගේ බොම්බායි බෝඩිම -1 පොස්ට් එක කියෙව්වහම.

පලවෙනි කේස් එක තිලක සිතගේ කේස් එක කිට්ටුවෙන්ම යන එකක් වුනාට ඒ වගේ සුඛාන්තයක් නම් වුනේ නැහැ. දම්සො පුතාට අවුරුද්දකට චීනෙ යන්න චාන්ස් එකක් ආවා 2005 හේදී. සෙට් එකම යන්න තීරනය කරා. එතකොට කෙල්ලො දෙන්නා පොඩියි. ලොකු එකීට තුනයි. පොඩ්ඩිට එක හමාරයි. වීසා නිවාඩු ඔක්කොම සෙට් කර ගත්තට පස්සෙ පොඩි කොස්සක් ආවා. මස්සිනාගෙ වෙඩින් එක සැප්තැම්බර් 3. දම්සො පුතා අගෝස්තු 30 ෂැන්හයි ඉන්න ඕන කියලා මූලස්ථානෙන් දැනුම් දුන්නා. එකම මල්ලිගෙ වෙඩින් එක නිසා තුන් දෙනාට වෙඩින් එකෙන් පස්සෙ එන්න කියලා දම්සො පුතා නියම දිනේට යන්න තීරණය කලා. පොඩි දෙන්නත් එක්ක තනියම එන්න අමාරු නිසා රන්ජිත් මස්සිනාටත් කඩිමුඩියෙම වීසා ලැස්ති කරගත්තා.

චීනෙට ගිහින් සති දෙකකින් විතර දරු පවුල එන දිනයත් කිට්ටු උනා. බොහෝම උනන්දුවෙන් අඩුම කුඩුම ලැහැස්ති කලේ කට්ටිය පිලිගන්න. කොහොම හරි එන දිනෙත් උදා වුනා. රන්ජිත් මස්සිනාත් එක්ක කට්ටිය එයාර්පොර්ට් එකෙන් පිටත් වෙනවා කියලා කෝල් එක්කකුත් දුන්නා. තව පැය කීපයයි කට්ටිය ආයෙත් එකතු වෙන්න තියෙන්නේ. උදේට කට්ටිය ගන්න විශ්ව විද්‍යාලෙන් වාහනයකුත් ලැහැස්ති කරලා නින්දට ගියේ උදේට නැවත වතාවක් පවුල එකතු වෙනවා කියන සන්තොෂෙත් එක්ක.

රෑ දෙකට විතර රන්ජිත් මස්සිනා හොන්කොන් එයාර්පොර්ට් එකේ ඉදන් දීපු කෝල් එකෙන් තමයි තිස් තුන්දාහ වැදුනෙ. වීසා එකේ පොඩි දෙන්නගෙන් එක්කෙනෙක්ගෙ නම විතරයි තියෙන්නෙ කියලා හොන්කොන් වලින් එන්න දෙන්නේ නැහැ කියලා තමයි අය්යගෙ කෝල් එක. චීන එම්බසියෙ තමයි බුල. චීන භාෂාවෙන් තිබුනු නිසා අපි දන්නෙත් නැහැ ලන්කාවේ ඉමිග්‍රේෂාන් එකෙනුත් හොන්කොන් වලට එවලා මාර තොප්පියයි.

ජීවිතේ ගත කරපු දිගම පැය කීපය ගෙවුනේ පස්සෙන්දට එලි වෙනකම්. අලුතෙන්ම අඳුනගත්ත කල්ලො ටික (නයිජීරියාවෙ මොහොමඩුයි, මැඩගස්කාරෙ නෝර්බටුයි, සිම්බාබ්වේ බායායි ) එලි වෙන කම් තනි රැක්කා. එලි වෙච්ච වෙලාවෙ ඉදන් ගැටේ ලිහා ගන්න දහ අතේ දැගලුවා. කැම්පස් එකේ කට්ටිය මාර්ගෙන් චීන බලධාරින්ටයි, බෙයිජින් වල ශ්‍රී ලන්කා එම්බසිය හරහායි නොකල දෙයක් නැහැ. ඒ අතර ලන්කාවෙත් ෆුල් ට්‍රයි එක. කට්ටියව එයාර්පොර්ට් එකේ හෝටලයකට දාලා අවුල ලිහාගන්නකම්. දවසම ගෙවුනා කිසිම ප්‍රතිඵලයක් නැතිව. පොඩි එවුන්ට හරි හමන් කෑමකුත් නැහැ. අන්තිමේදි තීරනය කලා කට්ටියව ආපහු ලන්කාවට යවන්න.

ලන්කාවට ගියායින් කථාව ඉවරම නැහැ. ටයි එකක් දාගෙන එහෙම ජැන්ඩියට ආපු රන්ජිත් මස්සිනා ආයි ගිහින් තියෙන්නෙ ඔෆිස් ඇරිච්ච වෙලාවට පිටකොටුව කොට්ටාව බස් එකේ ආවා වගේ. කොහොමින් හරි වෙච්ච වැඩේ දරා ගන්න නම් එච්චර ලේසි උනේ නැහැ. දම්සො පුතාත් ඇරියෙ නැහැ. මාස ගානකට පස්සෙ පොටක් පාදා ගත්තා. ප්ලේන් කොම්පනියට ලියුවා වෙච්ච කරදරේ කියලා. වැරද්ද විදියට පෙන්නලා දුන්නෙ වීසා නැතිව ලන්කාවෙන්ම නවත් වන්නෙ නැතිව අතරමගට එවීම. ඔන්න එක දවසක ප්ලේන් කොම්පැනියෙ ලොක්කෙක් කතා කරලා වැරද්ද පිලිගත්තා. නැවත වතාවක් ටිකට් දෙන්නත් පොරොන්දු උනා. දම්සො පුතාත් ඇරියෙ නැහැ. ගිය පාර වෙච්ච කරදර නිසා පොඩි දෙන්නත් එක්ක වයිෆ් තනියම ගෙන්නන්න බැහැ කිව්වා. මිනිහා ඇහුවා මොකක්ද වෙන්න ඕනේ කියලා. වැඩේ ගොඩ. ලන්කාවට ගිහින් කට්ටියව අරන් එන්න  ටිකට් එකක් දෙන්න මෑන් එකඟ උනා. ඒ පිහිටෙන් ශීත නිවාඩුවෙදි ලන්කාවට ගිහින් කට්ටියව එක්ක එන්න මටත් චාන්ස් එකක් ආවා. ලන්කාවට ගිය වෙලාවෙ චීන එම්බසිය පැත්තෙ ගිය වීසා ඔෆිස් එකේ හිටපු සින්හල ලොක්කට දෙකක් කතා කරලා එන්න. ගිහින් බැලින්නම් මාස දෙකකට කලින් ලොක්ක හාර්ට් ඇටෑක් එකකින් මැරිලා.

ඔන්න ඔහොමයි පලවෙනි වීසා අලකලන්චියෙ විස්තර. තිලක සිතගෙ කේස් එකට වඩා සෑහෙන කට්ටක් කන්න උනා.

දෙවෙනි කේස් එක 2010දි පශ්චාත් උපාධියෙ අන්තිම කෑල්ලට එන්ගලන්තෙ යන්න ගිහින්. පලවෙනි පාර සිය පවුලම එක්ක වීසා ඇප්ලයි කලා. තීරනේ ආවා වීසා රිජෙක්ට් කියලා. මේ ආකාරෙටම වීසා ඉල්ලපු හය දෙනෙකුට විතර වීසා ලැබුනා අවුරුද්ද ඇතුලත. දම්සො පුතාට විතරයි නැත්තෙ. පශ්චාත් උපාධි ආයතනෙන් තවත් ලියුන් කියුම් කිහිපයකුත් ලැහැස්ති කරගෙන දෙවෙනි වතාවටත් දැම්මා. ඒ පාරත් හුටස්. රාජකාරි කරන ආයතනෙන් දම්සො පුතාව යොමු කලා විදේශ අමත්‍යාන්ශෙට. ඒ හරහා ආපහු දැම්මා. තුන් වෙනි පාරත් බඩුම තමයි. වීසා නැකත ෆුල්ම අවුල්. විදේශ අමාත්‍යාන්ශෙ එවුන්ටත් මල පැනලා මේක  රාජ්‍යය තාන්ත්‍රික ඉෂූ එකක් කර ගත්ත. ඒ අයගෙ අදහස උනේ දම්සො පුතා 2009 ඉවර කරපු ගේමට සම්බන්ධ නිසා තමයි ප්‍රශ්නෙ කියලා. හැබැයි කෙලින්ම ඒ ගැන කතාවක් නැහැ. වෙන වෙන බොරු හේතු තමයි දුන්නෙ. කොහොම නමුත් මේක සිරා කේස් එකක් වේගෙන එන බව තේරුම් ගිය නිසා හිමීන් සීරුවෙ ඕස්ට්‍රේලියාවෙ පෝස්ට් එකක් හදා ගෙන තමයි වැඩේ ගොඩ දාගත්තේ.

ළඟදිත් ආයිත් තව කේස් එකක් උනා. ඒකත් කිව්වොත් නයා පාර දිග වැඩි වෙන නිසා ඒ ගැන නොකියා ඉදිමු. කොහොම නමුත් වීසා අලකලන්චි නම් ගොඩයි.  වීසා නැකත ෆුල්ම අවුල්.


8 comments:

  1. පළවෙනි කේස් එකනං මාර එකක් තමයි. ඔය වෙලාවට අර මස්සිනා කාරය කොච්චර කට්ටක් කන්න ඇද්ද.

    ReplyDelete
  2. මට හිතාගන්න පුළුවන් දම්සෝ පුතා ඒ ප්‍රශ්නෙදි කොච්චර හිතින් විඳවන්න ඇත්ද කියල . පස්සේ නොමිලේ ටිකට් නෙවෙයි මොනවා දීලාවත් ඒක පියවන්න බෑ නේද ?

    ReplyDelete
  3. ඇත්තටම කියනවනම් තිලක සිත මගෙ ජීවිතේ කවදාවත් ඒ විදියට වැටිලා නැහැ. ජීවිතෙටම ආශාවෙන් කරපු පොඩි ශොට් එකක් දැමිල්ල පවා නවත්තන්න මම හිතෙන් පොරොන්දු වුනා කට්ටිය චීනෙට ගෙනෙල්ලා දුන්නොත්. නමුත් ඒ හීනෙ හැබෑ වුනේ නැහැ.

    ReplyDelete
  4. විසා අලකලංචි නොවුනත් දරු පවුල ගෙන්වා ගන්න බැරිව දුක් වින්ද අය අතර අපිත් ඉන්නවා . 2003 "නෙදර්ලන්තයට " ගිය වෙලාවේ සිද්ධිය වුණේ රසවත් කතාවක් ..ලියලා දාන්න ඕනේ වෙලාවක..

    ReplyDelete
  5. හපුච්චියේ වෙලා තියන දේ... වීස ඔක්කොම හරි ඒක දෙන්න අහන ප්‍රස්න.. පුදුම අවිස්වාසෙකින්,බල්ලට දාල අහන ප්‍රස්න නෙව තියෙන්නෙ.. අනේ බයබෝයි ඔය රටට එන්න දෙන්න කියල ඉල්ලල එපැයි යන්න.(ගස්ලබ්බ ගිහින් නෙමෙයි ඔය පෝරම් කොල පුරවනව දැකල හිතුන එක.)එහෙව් අස්සෙ කෙල උනාම මරන් කාලත් මදි නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
  6. අහම්බෙන් රට යන්න වෙච්ච හින්දා වීසා ගැන ලොකු වදයක් වුනේ නෑ මෙතුවකට.
    දම්සෝ පුතා සිය රටට ගියාම වෙන අලකලංචි නැද්ද? මේ අපි වගේ ඈයෝන්ට වගේ.
    කවදාද ආවේ? කවදාද ආයෙ යන්නේ? දැන් කොච්චර කාලයක් රටද? බැඳලද? කෝ ළමයි? බැඳලා නම් ඇයි ළමයි නැත්තේ? අර අල්ලපු ගෙදර එහෙම නැථ්න්ම අල්ලපු ගමේ අහවලාත් රට නෙව. එයාලා නම් අලුත් බඩු ගේනවා. කෝ ඔයාලා රට හිටියට කිසි වෙනසක් නෑ නේ? කොටින්ම උදේ ඉඳන්ම රෑ වෙනකම් එකම ප්‍රශ්න පත්තරයක් දවස ගානෙම.
    මේ ලඟදි ඕක ලස්සනට චිටී (chitral somapala) ත් ලියලා තිබ්බා.

    ReplyDelete